Sunday, April 27, 2025

මහා කන්දක් සමතලා කර ප්‍රේමයේ සිහිවටන මාවතක් තැනූ මිනිසා

Published:

දශරත් මන්ජි

‘මන්ජි-කඳුකර මිනිසා’ යනු බිහාර්හි කුල බේදයෙන් පිරී ගිය සමාජයේ පහත්ම කුලයක වූ පුද්ගලයෙකි. විටෙක ආහාරයට ප්‍රමාණවත් ධාන්‍ය නොමැති විට මීයන් දඩයම් කර අනුභව කරන බව විශ්වාස කරන මුසාහාර් කුලයෙන් පැවත එන දෂ්රත් සැබෑ ජීවිතයේ වීරයෙකි. ජීවීතයේ අවසානයේ නොමැකෙන ලෙස තම නම සනිටුහන් කර ගිය මන්ජිගේ කතාවයි මේ.

දේශීය ඉඩම් හිමියන්ගේ කෙත්වල වැඩ කරමින් හා දර කැපීමෙන් දෂ්රත් ජීවත් වූයේ අවම වැටුපකටය. ඔහු ජීවත් වූයේ රෝහල, පාසල් විදුලිය, මාර්ගය වැනි මූලික පහසුකම් නොමැති ගමක ය. ඔහුගේ ගම සහ ශිෂ්ටාචාරය අතර අඩි 300 ක කන්දක් විය.

1960 වසරේ දිනක් ඔහු දර කපමින් සිටින තැනට කෑම රැගෙන එමින් සිටියදී ගැබ්බරව සිටි ඔහුගේ ආදරණීය බිරිඳ ෆාගුනි කන්දකින් පෙරලීම නිසා බරපතල තුවාල සිදු වෙනවා. ළඟම රෝහලට යාමට ඔහුට කඳු වටා යාමට සිදු විය. වෛද්‍යවරයා කන්දට කිලෝමීටර් 75 ක් දුරින් පිහිටි වසීර්ගන්ජ් හි සිටියේය. ගමන යාමට නොහැකිව ඇය 1959 දී සිය ජීවිත ගමන නිමා කරයි.

මෙබඳු ඉතා වේදනාකාරී අත්දැකීමකට මුහුණ දුන් මන්ජි නැවත පැමිණෙන විට මග හරස් කර සිටින විශාල කන්ද දෙස බලා තම හිතට දැඩි අරමුණක් අරගන්නවා.
“කන්ද මං කවදාහරි උඹව පරද්දනවාමයි. “
ඔහුගේ ගමේ අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පහසු වන පරිදි කන්දෙන් පිටතට මාර්ගයක් හෑරීමට ඔහු තීරණය කළේය.

නිවෙසට පැමිණි ඔහු ඔවුන් සතුව තිබූ වටිනාම වස්තුව වන එළුවන් තිදෙනෙකු විකුණා දමා ගල්කටු, මිටි ඇතුළු කැණීම් උපකරණ ටිකක් මිලට ගන්නා ලදී. පසුදා සිට ඔහු අර විශාල කන්ද කැපීමට ඇරඹුවේය. උදෑසන 4ට අවදිවන ඔහු එතැන් සිට උදෑසන 8 දක්වා කන්ද කපා දහවල් දර කැපීමේ රැකියාව අවසන් කර නැවත රාත්‍රී 1,2 පසුවන තෙක් එය සිදුකරගෙන යයි.

ගම්වාසීන් ඔහු පිස්සෙකු ලෙස සැලකූහ. ඔහු එයට අවධානය නොදුන්නේය.
දිනයක්, දෙකක්? මාසයක්? වසරක්? නොවේ.

වසර 22ක් පුරාවට ඔහු තම කාර්‍යය එක දිගටම ඉටු කරගෙන ගොස් 1982 වන විට මහා කන්ද මැදින් සුන්දර මාවතක් නිර්මාණය කිරීමට සමත්වෙනවා. ඒ ගමේ සිට නගරයට තිබූ කිලෝමීටර 55ක දුර කිලෝමීටර් 5ක් දක්වා අඩු කරමිනි.

1960 සිට 1982 දක්වා වසර 22 ක් දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කරමින් මිටියක්, උදැල්ල සහ නියපොතු භාවිතා කරමින් ගෙහ්ලූර් කඳු හරහා අඩි 360 ක් දිග, අඩි 30 ක් උස සහ අඩි 25 ක් පළල මාර්ගයක් තනි අතින් නිර්මාණය කිරීමෙන් පසු මන්ජි ප්‍රසිද්ධියට පත් විය.

ගයා දිස්ත්‍රික්කයේ අත්තාරි සහ වසීර්ගුන්ජ් කුට්ටි අතර කන්ද පිහිටා තිබුණි. වසර 22 කට පසු, ඉඩමක් හෝ නොමැති කම්කරු දෂ්රත් දාස් මන්ජි කන්ද යටත් කර ගෙන තිබුණි. බිරිඳගේ වියෝවේ වේදානාව මතින් ඔහු මහ කන්ද පරද්දා නැගී සිටියේය. වෛද්‍යවරුන්, රැකියා සහ පාසලක් සහිත වසීර්ගන්ජ් දැන් ගමට කිලෝමීටර් 5 ක් දුරිනි.

පාට්නා හි ජනතා ඩර්බාර්හිදී මන්ජි නිතිෂ් කුමාර් හමුවූ විට, කුමාර් එවැනි උත්තරීතර අධිෂ්ඨානයක් ඇති මිනිසාට ගරු කරමින් නැගී සිට ඔහුව මහ ඇමති පුටුවේ වාඩි කරවීය. බිහාර් රජය විසින් කර්ජානි ගම්මානයේ මන්ජි වෙත අක්කර පහක ඉඩමක් වෙන් කර තිබූ අතර, එය රෝහලක් ඉදිකිරීම සඳහා පරිත්‍යාග කරන ලදී. රෝහලට ඔහුගේ නම ලබා දීමෙන් රජය මන්ජිට ගෞරව කළේය.

පිළිකාවක් සමඟ සටනකින් පසු 2007 අගෝස්තු 17 වන දින නවදිල්ලියේ සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේදී (AIIMS) ඔහු මිය ගියේය.

ජීවිත කාලය පුරාම නොසලකා හරින ලද මිනිසාට ඔහුගේ මරණයෙන් පසු පිළිගැනීමක් ලැබුණි. දස්රත්ට ඔහුගේ ගමේ රාජ්‍ය අවමංගල්‍යයක් ලබා දෙන ලදී. ජීවත් ව සිටිය දී හරි හැටි ඇඳිවතක් හෝ නොතිබුන, ඔහුගේ දේහය ත්‍රිවර්ණයෙන් ආවරණය කර තිබුණි. අතිශයින් ගරු බුහුමනට පාත්‍ර වූ ඔහු, “Mountain Man” ලෙසින් විරුධාවලි ලත් අතර ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් පවා ඉන්දීය රජය විසින් නිකුත් කෙරිණි.

✍️මලීෂා සංදීපනී.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img