Sunday, April 27, 2025

නීරෝගී සුවය ගෙනෙන “කහ”

Published:

අහල තියෙනවද ? අපේ පැරණි අය කහ මිශ්‍ර කරපු වතුරෙන් නානවා, ඒ වගේ ම ගෙවල් වලට , වෙළඳ සැලක වුනත් කහ වතුර ඉසිනවා. මේ කහ වතුර වගේ ම කහ කියන්නේ අපේ ගෙවල් වල නැතුව ම බැරි දෙයක්. කහ ශ්‍රී ලංකේය අපට ආගන්තුක දෙයක් නොවේ. මෙය ආසියාතික රටවල කෑම සැකසීමේ දී කුළු බඩුවක් ලෙස ආහාර රස කිරීමටත් වර්ණ ගැන්වීමටත් යොදා ගනු ලබයි.

දේශීයව නිපදවන රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. ඒ නිසාම රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයක් ලෙස හඳුනාගත හැකියි. එය එපමණටම රුව ලස්සන කරන්නට සම පැහැපත් කරන්නට ඉවහල් වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් ටර්මරික් (Turmeric) වශයෙන් හඳුන්වන කහ ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ curcumalonga යන්නයි.

විශේෂයෙන්ම පිළිකා තත්ත්වයන්හි සිට සමේ රෝග සහ රූපලාවණ්‍ය දක්වාත් විශාල පරාසයක භාවිත කරන ඖෂධයක් ලෙස හඳුන්වන්නට පුළුවනි. කූකමින් (curumin) යන රසායනිකය මෙහි අඩංගුයි. කහ යොදාගනිමින් කරනු ලබන ඖෂධ නිෂ්පාදනයේ දී මෙය විනාශ නොවන ආකාරයට යොදා ගැනෙයි. ඖෂධ සංස්කරණයන්හි දී මෙහි නියම ප්‍රතිඵල අත්වෙයි.

ඊට අමතරව මෙහි ඖෂධීය වටිනාකම ගතහොත් ආයුර්වේද සහ දේශීය වෙදකමේ බෙහෙත් වට්ටෝරුවල දී බොහෝ විට යොදා ගැනේ. සමේ රෝගවල දී ගැනෙන ඖෂධ අතර නැතුවම බැරි ඖෂධයකි. සාමාන්‍යයෙන් දේශීය ඖෂධයක් ලෙස මෙය සමේ ආලේප කරයි.
මව්කිරි පිරිසුදු කිරීමේ ගුණයකින් යුතු කහ අක්ෂි රෝග සඳහාද භාවිතා කරනා ඖෂධ අතර ප්‍රධාන වේ.

අපස්මාර රෝගයෙන් පෙළෙන්නන්ට කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ගුණය ලැබෙන අතර කහ දුම ඇල්ලිය යුත්තේ රාත්‍රියේදී බවද ආයුර්වේදයේ පෙන්වා දේ.

එලෙසින් දුම් ඇල්ලීමෙන් පසු පැය 2-3 යන තුරු ජලය පානය නොකළ යුතු බවද ශාස්ත්‍රයෙහි ඉගැන්වේ. තවද ගෝනුස්සන් දෂ්ට කළ විට කහ කුඩු දමා දුම් ඇල්ලීමෙන් ගුණයක් ඇති බව ග්‍රාමීයව ජීවත්වන්නෝ දනිති.

හන්දි ඉදිමෙන අවස්ථාවේදී කහ කුඩු වෙඩි ලුණු සමඟ මිශ්‍රකර ඉදිමුණු ස්ථානයේ ගැල්වීමෙන් ඉක්මන් සුවය ලැබේ. වේදනා සහිත ඉදිමුමටද මෙය ඉතාම යෝග්‍යය.

බොහෝ විට විෂබීජ අධිකව තිබෙන ස්ථානයකට ගොස් පැමිණි විට කහ දියරයෙන් දෑත් මුහුණ සෝදන අවස්ථා තිබේ. ඒ කහ විෂබීජ නසන, විෂබීජ නාශක හැකියාවක් ඇති ඖෂධයක් ලෙස පිළි ගන්නා නිසාය.

මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය ද ඉතා ඉහළය. චර්මයේ ඇතිවන අසාත්මිකතා, තුවාල, පිළිකා රෝග, දියවැඩියාව වැනි බොහෝ රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධයකි.

මේ පිළිබඳ තවදුරටත් විමසා බැලුවොත් මෙහි ගුණාත්මක බව තවත් තහවුරු කරගත හැකියි. උදෑසන පිබිදී උණු වතුර වීදුරුවකට කහ තේ හැඳි කාලක් මිශ්‍රකර බීමෙන් සිරුර හොඳින් පිරිසිදු වන බවද ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙයි.

එමෙන්ම ආසාදනවලින් වැළකී සිටීමට ද මෙය බොහෝ දුරට ඉවහල් වෙයි.

තෙල් අධික වූ පසු විශේෂයෙන්ම කුරුලෑ වැනි අවස්ථාවන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව දැක තිබේ. ශරීරය මහත් කිරීමට විරුද්ධව මෙය ක්‍රියාත්මක වෙයි. මෙහි ලේඛනීය ගුණයක් පවතී. ලේඛනීය ගුණයක් යනු ශරීරය කෙට්ටු කරන ගුණයක් සහ සිරුර හැඩ කිරීමේ ගුණයක් පැවතීමයි.

ඖෂධීය ගුණයෙන් ඉහළ කහ ඉන්දියාවේ මෙන්ම අප රටේද සිදුකරන සෑම දේව පූජාවකදීම භාවිත කෙරෙන ප්‍රධානම අමුද්‍රව්‍ය වන අතර සෑම ශාන්ති කර්මයකදීමද භාවිත කෙරේ. තවද අතීතයේදී අප රටේ මෙන්ම ඉන්දියාවේ නිවසක තැන්පත් කෙරෙන මෘත ශරීරයක් කනත්ත කරා ගෙන ගිය පසු කහ යොදා මිනිය තැන්පත් කළ ස්ථානය පිරිසුදු කෙරේ. මෙමගින් කිලිහරණය කිරීමක් වෙන බව එදා මෙන්ම අදද පැවතගෙන එන විශ්වාසයකි.

මිනිසුන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා භාවිත කෙරෙන කහ අශ්වයන්ට ඇතිවන රෝග සඳහාද බහුලවම භාවිත කෙරෙනා ඖෂධයක් වේ.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img