Sunday, April 27, 2025

විශ්මිත “නිල්වලගල ගුහාව”

Published:

කොළඹ දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි අල්ගම ප්‍රදේශයේ නිල්වලගල කුඩා කදු මුදුනේ ප්‍රපතයේ සැගවී තිබෙන මේ ගුහාව වෙත ගමන් කිරීම ඉතා පහසු එකක් නොවුනත්, ලස්සන සුන්දර හා කුතුහලය පිරුණු ගමනක්.

නිල්වලගල මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 170 ක පමණ උසින් පිහිටා ඇති අතර ගුහාව පිහිටියේ මුහුදු මට්ටමේ සිට මීටර 152 ක පමණ උසකිනි.
කඳු වැටි 2 ක් හරහා කි.මී 4 ක පමණ වනගත පාගමනකින් පසු අල්ගම ඇල්ල වෙත ළඟා වී පසුව රබර් කැලයක් මැදින් ද නිල්වලගල මුදුනට ආ හැකිය.

තවද බබරගල, ගැරඬිගල සහ පැණි හෙල වැනි අවශේෂ කඳු ගැට කිහිපයක් ද මෙම ප්‍රදේශයේ දී දක්නට ලැබේ. උදෑසන පැහැදිලි අහස ඇති දවසක් නම්, කොළඹ වරාය ආශ්‍රිත ගොඩනැගිලි ප්‍රදේශ සේම ශ්‍රීපාදය පවා දැකගත හැකිය. නිල්වලා ගල මුදුන අංශක 360 ක වපසරියක් දැකිය හැකි විශාල ගල්තලාවක් සහිත ප්‍රදේශයකි. වර්තමානයේ මෙය ශ්‍රී ක්‍රාෆ්ට් හෝටලය මගින් නුවර දේවාලයෙන් බදු ලෙස ගෙන තිබේ. ගුහාවට යාමට නම් මහා ගල් පර්වතය දිගේ මීටර් 20 ක් පමණ පහළට බැසිය යුතුය. එසේ බසින විට ගලට බරව ප්‍රවේශමෙන් බැස ගත යුතු වේ. එසේ නොවේ නම්, පහල ප්‍රපාතයට පෙරලී යා හැකිය.

එසේ බැසගත් විට විවෘත ගුහාවක් වේ. ගස් වලින් වැසී ආරක්ෂිතව තිබෙන මෙම ස්ථානය කිසිවිටකත් දුරට දැකිය නොහැක. එය පසුකොට මීටර 5 ක් පමණ ගිය පසු දැවැන්ත ප්‍රපාතය වේ. එම ප්‍රපාතය දිගේ මීටර 5 ක් පමණ බැස ගත් පසු නිල්වලගල ගුහාවට ඇතුළු විය හැකිය. නමුත් ජීවිතයත් මරණයත් රැඳි එම මීටර 5 බැසීමට කඹයක ආධාරයක් ගත යුතුම වේ. මන්ද අංශක 90 ක බැස්මක් එහි ඇති හෙයිනි. පහළට වක්‍රව සිට සුමට ගල් තලාව අල්ලාගෙන පහළට බැසීම මරණයට අත වැනීමක් බැවින් කඹයක් වැනි ආරක්ෂිත ක්‍රමයක් අනුගමනය කළ යුතුවේ.

එම ගුහාව විශ්මිත පිහිටීම සහ හැඩයකින් ද යුතුය. තනි හෙලක ඇසක ආකාරයෙන් ගුහා කට පිහිටා ඇත. එම නිසා දුරතියා මෙය දැක ගැනීමටත් හඳුනාගැනීමටත් අපහසු වේ. ගුහා කට පහළ සිට ඉහළ ස්ථානයට උස අඩි 10 ක් පමණ වන අතර ඇසක් ලෙස ගත් කල ගුහාවේ ඇතුළුවීමේ කොන් දෙක අතර දුර අඩි 20 ක් පමණ වේ. ඇළයට පවතින මෙම ගුහාවේ පහසුවෙන් හිටගෙන ගමන් කළ නොහැක. නමුත් තිස්දෙනෙකුට පමණ පහසුවෙන් මෙහි නැවතී සිටිය හැක.

සොබාදහමේ ඇස ලෙසින් පිහිටි නිල්වලගල ගුහාව වලගම්බා රජුට උපකාරී වූ ස්ථානයක් බව ජනප්‍රවාදයේ සාක්ෂි සපයයි. ක්‍රි.පූ. 103 දී පමණ අනුරාධපුර රාජධානියේ රජවූ වලගම්බා රජු යනු ලාංකේය රාජ වංස කථාවේ සුවිශේෂී සලකුණකි. නමුත් වලගම්බා රජු යනු රාජත්වයට පත්ව මාස කිහිපයකින් කැරලි සහ දකුණු ඉන්දීය සතුරු ආක්‍රමණ හමුවේ රජකම හැර පලායන්නට වූ නායකයෙකි. නමුත් බුදු දහමට වූ නැඹුරුවත් ජනහිතකාමී බවත් නිසා ඔහු පලාගිය ප්‍රදේශවලදී ඔහුට ආරක්ෂාවත් නැවත සේනා සංවිධානය කර සතුරන්ට මුහුණදීමට හැකියාවත් ලැබුණි. 

වලගම්බා ‍රජුට රහසිගතව සේනා සංවිධානයට මෙම නිල්වල ගුහාව උපකාරී වූ බවද කියවෙයි.

නිල්වලගල ගුහාවේ එක් කොනක ගලේ පිහිටීම වෙනස් විය. මන්ද කළුගල රතු හා ලා කහපාටින් යුක්ත විය. ඒවා ස්වභාවිකවම පිහිටීමක් වූ අතර සමස්ථ ගුහාවෙන්ම එම ස්ථානය පමණක් එලෙස දැකිය හැකි විය. ගුහා ඇතුළට ගිය පසු ඇසක් වැනි හැඩය හොඳින් දැකගත හැකි අතර ළඟාවීමට ඇති දුෂ්කරතාව නිසා සතුරු උවදුරු වලින් බේරී සිටීමට මෙය කදිම ස්ථානයක් විය. තවද මෙතැනට දුර ඈත කඳුවැටි හා ප්‍රදේශ දැකගත හැකි අතර විටෙක මෙය ඔත්තු බැලීමට යොදාගත් ස්ථානයක් බවට ද උපකල්පනය කළ හැකිය.

ප්‍රදේශයේ පවතින කඳු ගැට අතරින් නිල්වලගල තරමක් උස් කඳු ගැටයක් වන අතර මීට කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි උඩුවක දුනුමාල ඇල්ල නොහොත් අලවල දේවීන් පැන්න ඇල්ල ලෙස හඳුන්වන දියඇල්ලක් ද පවතියි.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img