අඹගමුව සෙල්ලිපිය පළමුවන විජයබාහු රජුගේ (1070-1110) 36 වැනි වර්ෂයේදී කරවන ලද්දකි. මෙය අඩි 12 අඟල් 3 x අඩි 9 අඟල් 3 ක් සහ අනෙක් අඩි 9 අඟල් 4 x අඩි 9 අඟල් 7 ප්‍රමාණයෙන් යුත් ගල්කුළු 2ක කැටයම් කර ඇත.
පළමුවන විජයබාහු රජු විසින් ද්‍රවිඩ ආක්‍රමණික හමුදාවන් පරාජය කර රට එකම පාලනයක් යටතට ගෙන ඒම මෙම සෙල්ලිපිවල විස්තර කෙරෙන අතර, රජු විසින් ජනතාවට කරන ලද මෙහෙවර සහ ශ්‍රී පාද වන්දනාකරුවන්ට සහ ශ්‍රී පාදයට කරන ලද පරිත්‍යාග ද විස්තර කෙරේ.
මෙම විශාල සෙල්ලිපියේ, ශ්‍රී පාද සටහන ඇති ඉහළ මළුවට පහළින් රජු විසින් තවත් මළුවක් ඉදිකර ඇති බවත්, කුලහීනයන්ට ශ්‍රී පාද වන්දනා කිරීමට එසේ පහසුකම් සලසා දුන් බවත් සෙල්ලිපියේ කොටසක් සඳහන් කරයි.

මෙම සෙල්ලිපියට අනුව කුලහීනයන්ට ශ්‍රී පාද මළුවට පැමිණීමට අවස්ථාව නොලැබූ අතර ඔවුන්ට පහත් මළුවක සිට වන්දනා කිරීමට සිදු විය. පූජ්‍ය ඤාණවිමල හිමියෝ (1942 දී) ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ කාලයේ පවා සැඩොල් කුලයේ ජනයා ඇහැළ කණුවට පැමිණ තම පඬුරු ඉහළ මළුවට යවා ඇහැළ කණුවේ සිට ශ්‍රී පාදය වැඳ පුදා ගැනීම සිදු කළ බවයි . ඔවුන් ඉහළට යන්නේ නම්, ඒ සඳහා අවාරයේ ආරම්භයේ ඇති ඉතා නිශ්චිත කාලසීමාවකදී පමණි. මෙය පුරාණ චාරිත්‍රයක ශේෂයක් විය හැක.
ශ්‍රී පාද කඳු මුදුනට මීටර් 600ක් පමණ පහළින් අද අම්බලමක් තිබෙන ආඬියාමළ තැන්න නම් පෙදෙසක් ඇත. තම පියා මරා දැමීමෙන් පසු සීතාවක රාජසිංහ රජු (1581-1591) හින්දු භක්තිකයෙකු බවට පත් වූ අතර ශ්‍රී පාදය ආඬි නොහොත් සන්නාසි නම් වූ හින්දු පූජකවරුන්ට භාර දෙන ලදී . කීර්ති ශ්‍රී රාජසිංහ (1747 – 1781) විසින් එය ආපසු ගෙන බෞද්ධ භික්ෂුන්ට නැවත භාර දෙන තෙක් ඔවුන් දළ වශයෙන් වසර 155 ක් පමණ මෙම ස්ථානය කළමනාකරණය කළහ. ශ්‍රී පාදයේ එක් ප්‍රධාන ආඬියෙකු මියගියස්ථානය ආඬියාමළ තැන්න බවට පත් වූ බව කියනු ලැබේ. (රතනපාල, 2016).
මෙම ආඬියාමළ තැන්න වැලි මළුව ලෙසද හඳුන්වන බව ඥානවිමල හිමියෝ සඳහන් කරති. මෙම අඩවියෙන් ශ්‍රී පාද ශිඛරය පැහැදිලිව දිස්වේ. එබැවින් පළමුවන විජයබාහු රජු (1070-1110) විසින් කුලහීනයන් සඳහා ඉදිකරන ලද මළුව මෙම ආඬියමල තැන්න හෙවත් වැලි මළුව බව විශ්වාස කෙරේ.