රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න කෝරළයේ රමණීය පරිසරයක පිහිටි මඩුවන්වෙල වලව්ව දැකගත හැකි ය. මේ වලව්ව, අක්කර 20 ක පමණ බිම් පෙතක් තුළ පිහිටා තිබේ. “මඩුවන්වෙල වලව්ව” මඩුවන්වෙල දිසාවේ ජීවත් වූ වලව්වයි.
මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිම කර තිබෙන මේ වලව්ව පිදුරු සෙවිලි කර, බිත්ති වරිච්චි ක්‍රමයට බැඳ තිබෙනු දැකගත හැකියි. නිවැසියන්ගේ පරිහරණයට යොදාගෙන තිබෙන මහ බංගලාව, රැස්වීම් ශාලාව හෙවත් බුරුත බංගලාව, අධිකරණ ශාලාව, සහ වලව්ව වට කරමින් ගොඩනඟා ඇති ආරක්ෂක පවුරු මෙකල ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨත්වය විදහා දක්වයි.

වලව්ව ඉදිකර ඇත්තේ නූතන වාස්තු විද්‍යාත්මක න්‍යායන්ට ද අනුකූල වන පරිද්දෙන්. වරිච්චි බිත්ති හා ශක්තිමත් අත්තිවාරම නිසා මේ මන්දිරය කිසිදු උපද්‍රවයකින් තොරව ආරක්ෂා වී ඇති අතර, වහලයේ බර සම්පුර්ණයෙන් ම බිත්ති මතට නොඑන ලෙසින් ගොඩනැඟිල්ල වටා ශක්තිමත් ලී රාමුවක් ද සාදා ඇත.
මැද මිදුල් නිසා ගෙතුළට මනාව ආලෝකය ලැබෙන අතර අධිකරණ ශාලාව හැර අනෙකුත් සියලුම ගොඩනැඟිලි ඉදිකොට ඇත්තේ පොළොව මට්ටමේ සිට එසවූ පාදමක් මත යි. ගෙබිමේ රැස්වන වර්ෂා ජලය ගලා යාම සඳහා විධිමත් කාණු පද්ධතියක් ද සකසා තිබේ.

වලව්වට ඇතුළු වන්නට සකසා ඇති ඇතුළු වන දොරටුව දැක ගැනීමට හැකි ය. එය, ගල් උළුවස්ස ලෙස හඳුන්වයි. මෙහි, මකර තොරණක හැඩය ගත් ගල් ආරුක්කුවකි. එය මනරම් ලියවැලින් අලංකෘතව ඇත. මෙහි දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකකි. මේ ගල් උළුවස්ස, එතරම් උස නොවූ එකක් වන අතර, එයට හේතුව මඩුවන්වෙල දිසාවේ එතරම් උස මහත පුද්ගලයකු නොවීම බව පැවසේ. එසේ ම, එවකට ඔහු හමුවට පැමිණි සුදු මහතුන් අසු පිටින් පැමිණෙනවිට, එහි තම හිස වැදේ ය යන බිය නිසා, එම ස්ථානයේදී හිස නමයි. මෙය මෙසේ සකසා ඇත්තේ, ඔවුන් නොදැනුවත්වම ඔහුට ගෞරව කර පැමිණෙන අයුරක් විද්‍යමාන වන ලෙසට ය. එබැවින් මෙය, දිසාවේ විසින් හිතාමතාම කළ දෙයක් ලෙස හැඳින්විය හැකි ය.
මේ වලව්ව, එක්තරා ආකාරයකින් ගත්විට අපූර්ව ගෘහ නිර්මාණ සැලසුමකි. 1930 දශකය වනවිට මේ වලව්වේ කාමර 121ක් හා මැද මිදුල් 21ක් තිබී ඇත. එහෙත් අද වනවිට ශේෂ වී ඇත්තේ ඉන් කාමර 43ක් හා මැද මිදුල් 7ක් පමණකි. මේ වලව්ව නිමවා ඇත්තේ අඩි 3ක් පමණ උස් වූ ශක්තිමත් කළු ගල් වේදිකාවක් මත ය. මෙයට ඇතුළු වීම සඳහා දොරටු තුනක් ඇත.

ඩිංගිරි අප්පො හෙවත් මඩුවන්වෙල දිසාවේගේ සයනාගාරයේ සිට උළුවස්සෙන් එළියට එනවිට ම, වික්ටෝරියා රැජනගේ රූපය හා ඉංග්‍රීසි ලාංඡනය වන රන් පවුම, තම පයට පෑගෙන ලෙස සකස් කර ඇත. එය එක්තරා ආකාරයකට, එදවස සිටි සුදු පාලකයන්, මහ රැජන වැන්නන්, තමා ප්‍රතික්ෂේප කරන බව මෙන් ම, තමා නියම සිංහල හදවතක් ඇත්තකු බව පෙන්වීමේ කැඩපතක් බඳු ය. මේ කාමරය පිහිටා ඇති කොටසේ, සතර වටේටම අගුළු දැමිය හැකි ලෙස, මැද මිදුලක් අයිනේ වු ආලින්දයක් ආකාරයට පිහිටා තිබේ . එහි බිම මැද රන් පවුම් හා මැණික් ඔබ්බවා තිබී ඇත. මේ නිවෙසේ පිරිත් මණ්ඩපය පිහිටි ස්ථානයේ මෙන් ම, තැනින් තැන මෙවැනි නිර්මාණ සකස් කර ඇත

මහ බංගලාව
පොළොව මට්ටමේ සිට අඩි 3ක් පමණ උස් වන වේදිකාවක් මත ය, මහ බංගලාව තනා ඇත්තේ. ෂඩස්‍රාකාර හැඩයක් ගන්නා මේ ගොඩනැඟිල්ල වරිච්චි බිත්ති මත වැලි, මැටි කපරාරු කර, සුදු හුණු පිරියම් කර තිබේ. වහලයට පෙති උළු සෙවිලි කර, බිමට සිමෙන්ති යොදා තිබේ. ගොඩනැඟිල්ලට ඇතුළු වන ප්‍රධාන දොරටුව පාමුල සඳකඩ පහනක් වන අතර මෙහි විවිධ සත්ත්ව රූප නෙලා තිබෙනු දැකගත හැකියි.
මහ බංගලාවට අයත් කොටසේ විසිත්ත කාමරය, දිග්ගෙයි කාමරය, රටබීම කාමරය, ඩිංගිරි අප්පොගේ කාමරය, ලොකු ඩිංගිරි අප්පොගේ කාමරය, දිසාවගේ නිදන කාමරය, තිඹිරිගෙය ආදී කොටස් දැකගත හැකියි. එමෙන්ම මඩුවන්වෙල වලව්වේ කාන්තාවන් හට මාසික ඔසප් සමයේ දී රැඳී සිටීම සඳහා ම වෙන් වූ කාමරයක් ද තිබුණු බව යි පැවසෙන්නේ.

දැවැන්ත උළුවස්සක් ද මෙහි දැකගත හැකියි. ලන්දේසි බලකොටුවෙන් ගෙනැවිත් සවි කළ එකක්යැ යි කියන මේ උළුවස්ස, කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ කටුවන ලන්දේසි බලකොටුවට පහර දුන් විජේසුන්දර මඩුවන්වෙල දිසාවේ විසින් ගෙන ආ බව යි පැවසෙන්නේ. අනෙකුත් උළුවහු හා සසැඳීමේ දී විශාල බවක් ගන්නා මෙහි දොර අඟල් 2ක් පමණ ඝනකම් වන තනි ලෑල්ලකින් ය, නිමවා තිබෙන්නේ. මෙහි දොරට යොදා ඇති සරනේරු හා යකඩ තහඩු ආදියත් ඉතා ශක්තිමත්.
මහ බංගලාවේ වහලේ පල 4ක් එකතු වන සෑම ස්ථානයක ම මැද මිදුල් ඇති අතර මේවා දැව ආරුක්කු 12කින් අලංකාර කොට ඇත.
මොසැයික් කලාව
මහ බංගලාවේ සිමෙන්ති දැමූ බිම පිඟන් කටු යොදා විවිධ රටා මවා තිබෙනු දැකගත හැකියි. මොසැයික් කලාව ලෙසින් හැඳින්වෙන්නේ මේ රටා මැවීම යි. සිමෙන්ති කොලපු මත ඉතා සූක්ෂම අයුරින් පිඟන් කැබලි අල්ලා තිබෙන අතර මල් මෝස්තර, ජ්‍යාමිතික රටා, ඇත් රූප හා පක්ෂි රූප ද මේ අතර දැකගත හැකියි.
රූප රටාවලට ගැළපෙන සේ වර්ණ සංකලනය ද සිදුකොට ඇති අතර ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් ඉස්මතු කරමින් තද වර්ණක යොදා තිබේ. පිඟන් කටුවලින් කළ මල් මෝස්‌තරවල රන් කාසි හා මැණික් ගල් ද ඔබ්බවා තිබී ඇති අතර ඒවායේ සලකුණු අදට ද දක්නට ලැබේ.

සෙල්මුවා ආරුක්කුව
වලව්ව වටා ඇති ප්‍රාකාරයේ පිවිසුම් දොරටුව සෙල්මුවා ආරුක්කුවකින් යුක්ත යි. වලව්වේ උදාරත්වය තව තවත් වර්ධනය කිරීමට මෙය සමත් වෙයි. පළමු පිවිසුම් දොරටුවෙන් ඇතුළු වී මඳ දුරක් යද්දී අලංකාර කැටයම් හා මෝස්තර සහිත තොරණකින් යුක්ත දෙවන පිවිසුම් දොරටුව හමුවන අතර තොරණ සුදු හුණු පිරියම් කර ඇත. 1878 ලෙසින් මෙහි වර්ෂයක් ද සටහන් කර තිබෙයි.
පනාමුරේ ඇත් ගාල
විශාල ධනයක් හා ශ්‍රම දායකත්වයක් ද යොදාගෙන යි, මඩුවන්වෙල දිසාවේ මේ ඇත් ගාල නිර්මාණය කොට ඇත්තේ. ඒ අනුව වනය මැද පිහිටි නොසිඳෙන දිය බුබුළක් මැදි කොට අක්කර 10ක පමණ භුමි භාගයක් කොටු කර පනාමුරේ ඇත් ගාල බැඳ තිබේ.