Sunday, April 27, 2025

ඵුස්සදේව යෝධයා පැවිදි වූ සංඛපාල පුද බිම

Published:

රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලෙබැද්ද නගරයට ආසන්නව පිහිටි දර්ශනීය කඳුවැටියක පාමුල සංඛපාල රජ මහා විහාරය පිහිටා ඇත. විශාල ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙහි ලෙන් 15ක් පමණ පිහිටා තිබේ. සංඛපාල විහාරය, ගිරිශිඛර මත පිහිටි ස්වභාවික ලෙන් හා පසුව ඉදිකළ විහාර ආරාම ගොඩනැගිලි වලින් සමන්විත මනස්තාන්ත – ඓතිහාසික පුදබිමකි.

ක්‍රිස්තු පූර්ව 161 – 137 කාලයේ රජකළ දුටුගැමුණු රජතුමා විසින් විජිතපුර සටන ජයගත් පසු තම දස මහා යෝධයින්ට ගම්වර ප්‍රදානය කරන ලදි. එහි දී මොණරාගල – මාලිගාවිල ප්‍රදේශයෙන් පැමිණී යෝධයෙකු වූ ඵුස්සදේව ට හිමිවූයේ පල්ලේබැද්ද ගම්වරයයි. මෙම ගම්වරය පිළිගත් ඵුස්සදේව යෝධයා ගම්මානය ගොඩ නඟා ටික කලකට පසුව, සංඛපාල විහාරය ගොඩ නංවන ලදි. විහාරය සඝ සතු කොට පූජා කර, ඔහු ද පැවිදි බිමට ඇතුලත් විය. ඵුස්සදේව හිමියන් පසු කලෙක විදසුන් වඩා රහත් වූ බව ද ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ. ඵුස්සදේව යනු දුටුගැමුණු රජුගේ හමුදාවේ හක් පිඹීමේ හා දුනු ශිල්පයේ අති දක්ෂ සෙනෙවියෙකි. ජනප්‍රවාදවල දැක්වෙන ආකාරයට ජයග්‍රහණයන් වෙනුවෙන් ජයසංඛ නාද සිදු කළ යෝධ හක්ගෙඩිය සංඛපාල විහාරයේ කඳු මුදුනේ තැන්පත්කර තිබේ. මෙම විහාරයට සංඛපාල යන නම (හක්ගෙඩිය = සංඛ ය) ලැබෙනුයේ ද ඒ අනුවය. සංඛපාල විහාර භූමිය තුළ ඇති කටාරම් සහිත ගල්ලෙන් රාශියක් ඇති අතර ඒවා අරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ භාවනායෝගීව වැඩ සිටි ආවාස කුටි බව කියැවෙයි.

සංඛපාල කඳු පාමුල පිහිටි පැරැණි ගල්ලෙන් කීපයකින් 3 ක් මේ වන විට බුදු මැඳුරු වශයෙන් සකසා ඇත. ඵුස්සදේව රහතන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කර ඉදිකළැයි සලකන දාගැබක් විහාරයට කිලෝමීටර් 2ක් පමණ දුරින් එනම් ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව ගල් තලාවක ඉදිකර තිබෙන අයුරු දැකගන්නට හැකි වේ. මෙම ස්ථානය අද “ඵුස්සදේව සොහොන”නමින් හඳුන්වයි.

ඵුස්සදේව යෝධයා මෙන් ම ඔහු යටතේ සිටි සේනාව ද ඔහු සමඟ මෙම පුද බිමේ දී පැවිදි වී ඇත. ඔවුන් ද ලැබූ රන් පදක්කම් ආදිය මෙම සංඛපාල කඳු මුදුනේ තැන්පත් කර ඇත. එසේ මහණ වූ සියල්ලෝ රහත් බවට පත් වූහ. මෙම විහාරය විශ්ව ශක්තිය එක්කාසු වන විශේෂ පිහිටීමක් සහිත බව ද මිනිසුන්ගේ මතයයි. 

පොළොන්නරු යුගයේ සිටි මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153 – 1186), නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187 – 1196) වැනි රජවරුන්ගේ අවධියේදී මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය නමුත් කාලයාගේ ඇවෑමෙන් නොයෙකුත් ආපදා වියවුල් නිසා මෙම ලෙන් විහාරය වල් බිහි විය.

මහනුවර යුගයේ දී නැවත සංඛපාල රජමහා විහාරය ගැන තොරතුරු අසන්නට ලැබෙන්නේ රාජාධිරාජසිංහ (ක්‍රි.ව. 1780 – 1798) රජ දවසයි. උන් වහන්සේ ශ්‍රී   පාදයේ පදවියට පත්ව අවුරුදු 2 ක් ඇවෑමෙන් රාජ උදහසට ලක්වී සිර අඩස්සියට පත් විය. අත්අඩංගුවට පත් හිමියන් කඩුගන්නාව ප්‍රදේශයේ අප්‍රසිද්ධ ස්ථානයක සිරකර තැබීය. නමුත් මේ අවස්ථාවේදී උන්වහන්සේට රහසින් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත්තේ අත්තරගම රාජගුරු බණ්ඩාර නම් උන්වහන්ගේ ගිහි ගුරුවරයෙකි.

එතුමාගේ උපදෙස් පරිදි උන්වහන්සේ බුදුගුණ සඳහන් “බාරස කාව්‍ය හෙවත් බරනම කමසක” නම් ඉතාමත් දුෂ්කර කාව්‍ය කොටසක් නිර්මාණය කර රජතුමා අතට පත් කළේය. ඔවුන් කිසිවකුටත් එය කියවා පැහැදිලි කිරීමට නොහැකි විය. පසුව සිරකර සිටි කරතොට හිමියන් රාජ සභාවට ගෙන්වූ  රජතුමා එම දුෂ්කර කාව්‍ය කියවා පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටියේය. කරතොට හිමියන් විසින් එම කවි කියවා ඒවායේ තේරුම රජතුමාට පැහැදිලි කර දුන්නේය.

හිමියන්ගේ නිර්මාණ ශක්තියට සහ පාණ්ඩිත්‍යයට රජතුමා ඉතා පැහැදීමට පත් විය. කරතොට නාහිමියන් සිරෙන් නිදහස් කර තුඩපතකින් සහ සන්නස් පත්‍රයක් මඟින් පල්ලේබැද්ද ගම්වරය සහ ශ්‍රී සංඛපාල රජමහා විහාරය උන්වහන්සේට පූජා කළේය. රජතුමා මෙම පරිත්‍යාගය කර ඇත්තේ ක්‍රි.ව. 1786 වසරේදීය.

ඒ අනුව දුටුගැමුණු මහ රජතුමා ඵුස්සදේව යෝධයාට පළමුවරට පරිත්‍යාග කළ පල්ලේබැද්ද ගම්වරය දෙවැනි වරට ශ්‍රී  රාජාධිරාජසිංහ රජතුමා කරතොට කීර්ති ශ්‍රී ධර්මාරාම හිමියන්ට පූජා කර ඇත. මෙය එකම විහාරය දෙවතාවක් පුද කළ දුර්ලභ අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වේ.

පසුව මෙම හිමියන් සහ රජු අතර ඉතාම කුලුපග මිතුරු බවක් ඇතිවී තිබේ. නමුත් මේ බව නොරිස්සූ පිරිසක් හිමියන් ලන්දේසින්ට උදවු කරන බවට රජතුමාට මුසාබස් කියා ඇත. මෙයින් කෝප වූ රජතුමා නැවත හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට ‍දොඩංවල නිලමේට නියෝග කළේය. දොඩම්වල නිලමේගෙන් මේ ආරංචිය ලද කරතොට හිමියෝ පල්ලේබැද්ද සන්නසත් – තුඩ පතත් වටා පතත් රැගෙන මාතර වෙහෙරගම්පිටිය විහාරයට පලා ගියෝය.

ඉන් පසුව සංඛපාල විහාරය අරාජික වූ අතර, යළි විහාරය දියුණුවට පත් වී වර්තමානයේ පවතින තත්වයට පැමිණියේ පසුකාලීනව ඇති වූ බෞද්ධ ප්‍රබෝධයත් සමඟිනි. එහිදී විහාරයේ පැරණි ඉදිකිරීම් සංරක්ෂණය කිරීම මෙන්ම නව විහාර අංග ගණනාවක් ද එක්කොට ඇත.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img