Saturday, April 26, 2025

සනී ලියෝනි නම් වූ ‘අම්මා’

Published:

ඔව්. අපි හැමෝම දන්නෙ ඇය නිල් චිත්‍රපටි නිළියක් විදිහට. ඒත් ඒ ටයිට්ල් එකට වඩා මං ඇය තුළින් විශිෂ්ඨ මවක් හා බිරිඳක් දකිනවා. 2005 ඉඳන්ම නිල් චිත්‍රපටි නිළියක් වුණු සනී ලියෝනි 2011 දි විවාහ වෙනවා. ඒ ඇමෙරිකානු නළුවකු වන ඩැනියල් වෙබර් සමඟ. ඩැනියල් කවදාවත් විවාහයට ඇයව තෝරගත්තත් ඇගේ වෘත්තිය නවත්තන ලෙසට බලපෑම් එල්ල කළේ නෑ. නමුත් පවුල් ජීවිතයට මුල් තැන දුන් සනී කෙටි කලකින් සිය වෘත්තියෙන් සමුගන්නවා.

විවාහයෙන් වසර හයක් ගෙවෙද්දි ඔවුන් තීරණය කරනවා මහාරාෂ්ට ප්‍රාන්තයේ ගමක උන් පුංචි දැරියක් හදාවඩාගන්න. ඇයට නම තියනවා නිශා කෝර් වෙබර් ලෙසින්. ඒ සනීගේ නියම නම වෙන කෙරන්ජිත් කෝර් වොහ්රා නමේ කොටසකුත් අරගෙන. ඉන් වසරක් ගෙවෙද්දි සරෝගසි ක්‍රමයට ඔවුන්ට බිහිවෙනවා නිවුන් පුතුන් දෙදෙනෙක්. ඔවුන් ආශර් සහ නෝවා.

නිශාව සනී දකින්නෙ නියගයක⁣ට හසුවුණු දුෂ්කර ගම්මානෙකින්. ඒ වෙද්දි ජීවිත සටනට මුහුණ දීමෙන් හෙම්බත් වුණ නිශාගේ දෙමාපියෝ සියදිවි නසාගෙන තිබුණා. සනී තීරණය කරනවා හැමෝගෙන්ම ප්‍රතික්ෂේප වෙමින් හිටපු මේ කළු පුංචි කෙල්ලව හදාවඩාගන්න.

මේ වෙද්දි සනීගේත් ඩැනියල්ගේත් විවාහ දිවියට වසර 13ක් සපිරෙනවා. ඔවුන් මාලදිවයිනේ හරිම ලස්සනට ඔවුන්ගේ විවාහ සංවත්සරය සමරලා තිබුණා. විටින් විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙන මේ අපූරු පවුලේ ඡායාරූප, වීඩියෝපට දකිද්දි මට මතක් වෙන පළමු කරුණ ඇය නිල් චිත්‍රපටි නිලියක් බවනම් නෙවේ. ඇගේ මව්වත් ගුණයේ ඇති විශිෂ්ඨත්වය ගැනයි.

මීට කාලෙකට උඩදි Stand Up comedy වැඩසටහන⁣කට ඇවිත් සනී ලියෝනි තමන්ගෙ සැමියවත් ඉස්සරහා තියාගෙන ලස්සන කතාවක් කියනවා ඔබට මතක ඇති.

“හායි. මම සනී ලියෝනි. ඔයාලා හැමෝම මාව දන්නවා මං මගේ අතීතෙදි කරපු දෙයක් නිසා. ඔබ සියල්ලන්ම ඒ ඔස්සේ මාව විනිශ්චය කර ඇති නිසා මම මේ මොහොතේ තරමක් ලැජ්ජයි.

නමුත් මට මේ කතාව වෙන පැත්තකට ගෙන යා යුතුයි. මොකද මං දන්නවා ඔයාලා දැන් හිතන දේ..

ඒ තමයි xxx.. xxx.. xxx..

සනී ලියෝනිට හැමදාම ඕන වුණේ Happy ending එකක්. මං මට වෛර කරන්නන් ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ. මොකද මට ඉන්නවා ගෙදර කවිච්චියේ සැනසිල්ලේ ඉඳගෙන ජීවිතේ විඳින්න පුළුවන් සරාගී සැමියෙක් සහ ලස්සන, පුංචි දරුවො ⁣තුන්දෙනෙක්.

වයින් වීදුරුවයි. කනගාටු ශුන්‍යයි.

මේක තමයි මගේ Happy Ending එක.”

සනී ලියොන් 2016 දී BBC හි වඩාත්ම බලගතු කාන්තාවන් 100 දෙනා අතරට ගියේ තවත් ඉන්දියානු කාන්තාවන් හතර දෙනෙකු සමඟයි. මෙය ඉන්දියානුවන්ට විශාල ජයග්‍රහණයක් නමුත් කිසිවෙකුත් එය සැබවින්ම සැමරුවේ නෑ. ඒ ඇතැම්විට ඇය ලොව පුරා පිරිමින්ට ආශ්වාදය සැපයූ ප්‍රසිද්ධ නිල් චිත්‍රපටි නිලියකගේ භූමිකාවෙන් ගලවාගන්නට ඉන්දියානු මිනිසුන්ට අපහසු වූ නිසා වෙන්න ඇති.

සනී ලියෝනි කියන්නෙ අදටත් වැඩිපුරම ගූගල් කරන කාන්තාවක් බවට සැකයක් නෑ. ඊට හේතු වෙනස් විය හැකියි. නමුත් ඇයට තවමත් ශක්තිමත් රසික පිරිසක් සිටිනවා. ඇයට බොහෝදෙනකු ආදරය කරන්නේ ජීවිතය පිළිබඳ ඇගේ වටිනා ආකල්පය සහ ඇගේ ශක්තිමත් තීරණ නිසායි. ඒ වගේම මොන විදිහට තමන් ගාවට දරුවො ළං කරගත්තත් ඒ අම්මා අම්මාමයි.

සුබ විවාහ සංවත්සරයක් සනී!!!

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img