Sunday, April 27, 2025

නැවත සොයා ගත් ” මොනාලිසා “

Published:

ඉතාලි ජාතිකයෝ තවමත් එම චිත‍්‍රය මොනාලිසා නමින් හැඳින්වීමට අකමැතිය. ඔවුන් එය හඳුන්වන්නේ ජොකොන්දා නමින්ය. මොනාලිසාගේ සැබෑ නම ලිසා ගෙරර්දීනීය. ඇය විවාහවී සිටියේ ෆිරෙන්සියේ එවකට සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික ෆ‍්‍රැන්සිස්කෝ ජොකොන්දා සමගය. ඉතාලි ජාතිකයෝ ලෙනාඩෝ ඩා වින්චිගේ උක්ත චිත‍්‍රය තවමත් හඳුන්වන්නේ ඇගේ වාහක සැමියාගේ වාසගමිනි.

ඉතාලි ජාතිකයෝ තවමත් මොනා ලීසා චිත‍්‍රයේ අයිතිය තමන් සතු බව කියති. මෙයට පදනම් වෙන්නේ එම චිත‍්‍රය සිතුවම් කළ ලෙනාඩෝ ඩා වින්චි ඉතාලි ජාතිකයකු වීමය. එහෙත් ලෙනාඩෝ ඩා වින්චි විසින් ම එම චිත‍්‍රය ප‍්‍රංශයේ දී මුදලට විකුණා දැමූ චිත‍්‍රයක් වෙන බැවින්, ඉතාලි ජාතිකයන්ගේ උක්ත තර්කය පදනම් විරහිතය.

තම බිරිඳ වූ ලීසාගේ චිත‍්‍රයක් අඳින ලෙස ලෙනාඩෝ ඩා වින්චිට භාරදී තිබුණේ ඇගේ සැමියා විසින් මය. ජොකොන්දා ඇණවුමක් මත අඳින ලද චිත‍්‍රයක් වූ බැවින්, සිතුවම නිමා වූ පසුව ඇණවුම්කරුට එය භාරදිය යුතුව තිබුණි. එහෙත් චිත‍්‍රය ඇණවුම්කරුට බාරදී තිබුණේ නැත. ලෙනාඩෝ ප‍්‍රංශයට සංක‍්‍රමණය වෙන විට ජොකොන්දා චිත‍්‍රය තමන් සමග එහි රැගෙන ගොස් තිබුණේ ඒ නිසාය. මේ පිළිබඳව අවධානය යොමුකරන ඇතැමෙකු පවසන්නේ, ලීසාගේ සැමියා වූ ෆ‍්‍රැන්සිස්කෝ ජොකොන්දා තම බිරිඳගේ සිතුවම පිළිබඳව සෑහීමකට පත්නොවූ බැවින් එය භාර නොගන්නට ඇති බවය. මෙම චිත‍්‍රය ලීසාගේ සැබෑ රූපය හා නොසැසදෙන්නට ඇතැයි ඔවුහු කියති. මහා හඬකින් නොකීව ද, චිත‍්‍ර පිළිබඳ ඇතැම් විචාරකයන් කියන්නේ මොනාලිසා චිත‍්‍රයේ අඩුපාඩු රැසක් ඇති බව ය. ලෙනාඩෝ් ම වුව ද මෙම චිත‍්‍රය පිළිබඳව සෑහීමකට පත්ව සිටියේ නැත. මොනාලිසා චිත‍්‍රය පිළිබඳව මෑතක දී කරන ලද එක්ස් කිරණ පරීක්ෂණ මගින් හෙළිවී ඇත්තේ, පසුකාලීනව ලෙනාඩෝ ඩා වින්චි විසින්ම මෙම චිත‍්‍රයේ වෙනස්කම් කීපයක් කර ඇති බව ය.

ලෙනාඩෝ ඩා වින්චි විසින් ජොකොන්දා චිත‍්‍රය 1516 දී එවකට ප‍්‍රංශයේ රජකම දැරූ චිත‍්‍ර ලෝලියෙකු වූ පළමුවැනි ෆ‍්‍රැන්සිස්ට රං කාසි හාරදහසකට විකුණා දමා ඇත. ජොකොන්දා මොනාලිසා වූයේ එතැන් පටන් ය. රජ පවුල සතුව තිබුණු මෙම චිත‍්‍රය ප‍්‍රංශ විප්ලවයෙන් පසුව කෞතුකාගාර භාරයට පත්ව ඇත. නැපෝලියන් බොනපාට් බලයට පත්වීමෙන් පසුව මෙම චිත‍්‍රය ගෙන ගොස් කෙටි කලක් තම යහන් ගබඩාවේ තැන්පත් කර තිබුණු බවක් ද කියැවේ.

මොනාලිසා චිත‍්‍රය පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ තිබිය දී, 1914 දී ඉතාලි ජාතිකයකු විසින් එය සොරාගෙන ඉතාලියට නැවත රැගෙනවිත් තිබුණි. සිකුරාදා සවස කරන ලද මෙම සොරකම කෞතුකාගාර භාරකාරත්වය හෙළිකරගෙන තිබුණේ සඳුදා පෙරවරුවේ ය. ඒ වෙන විට චිත‍්‍රය ප‍්‍රංශයෙන් පිටමංව තිබුණි. එහෙත් මාස විසි අටකට පසුව මෙම චිත‍්‍රය ෆිරෙන්සියේ සඟවා තබා තිබිය දී නැවත සොයාගෙන, 1915 දී යළි ප‍්‍රංශයට ම භාර දී ඇත.

ලිසා ගෙරර්දීනී උපත ලබා තිබුණේ 1479 ජුනි මස පහළොස්වැනිදා ය. ඇය ලෙනාඩෝ ඩා වින්චි ඉදිරිපිට චිත‍්‍රය සඳහා මුහුණ දෙන විට ඇගේ වයස අවුරුදු විසිහතරකි. එහෙත් චිත‍්‍රයෙන් පෙනෙන්නේ වයසට වඩා මේරූ කාන්තාවකගේ රූපයකි. මීට වසර කීපයකට පෙර මොනාලිසා චිත‍්‍රය පරීක්ෂා කළ වෛද්‍යවරු කණ්ඩාමක් ප‍්‍රකාශ කළේ, ලිසා ගෙරර්දීනීගේ රුධිරයේ කොලැස්ටරෝල් ඉතාම ඉහළ මට්ටමක පවතින්නට ඇතුවාට සැකයක් නැති බවය. ඇය මියගියේ 1542 ජූලි මස පහළොස්වැනිදා ය. ඒ වෙන විට ලිසාගේ වයස අවුරුදු හැට තුනකි. මියයන විට ඇය දරු පස්දෙනෙකුගේ මවකි. ඇගේ ගැහැනු දරුවන් දෙදෙනම කන්‍යාසොහොයුරියන් බවට පත්ව සිටියෝ ය. ලිසා ගෙරර්දීනීගේ සිරුර ෆිරෙන්සි නගරයේ සාන්ත ඔර්සොලා කන්‍යාරාමයේ සාන්ත මරියා නොවෙල්ලා බැසිලිකාව තුළ භූමිදාන කළ බව පැරණි ලේඛන පෙන්වා දෙයි. 2015 වසරේදී මෙම බැසිලිකාව තුළ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් මගින් ලිසා ගෙරර්දීනිගේ අස්ථි ශේෂ සොයාගෙන ඇත.

මොනාලිසා දිර්ඝ කාලීනව නිහඬව සිටින්නේ නැත. මේ දිනවල ඇය පිළිබඳව පවතින කතාබහ වුවද තව නොබෝ දිනකින් නිහඬ වෙනු ඇත. එහෙත් ඒ නිහඬ බව දිගුකල් රැකීම ඇගේ සිරිත නොවේ. මීළඟ වාරයේ දී ඇය කුමන මාතෘකාවක් මත කතාකරනු ඇත්දැයි අපි බලා සිටිමු.

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img