ඌව පළාතෙ රදළ පවුළකින් මහණ වෙච්ච බොහොම භක්තිවන්ත ගුණවන්ත හාමුදුරු තමක් හිටිය. මේ හාමුදුරුවො පිණ්ඩපාතෙන්මයි ජීවත් උනේ. ගිහි ජීවිතේ කළ කිරීල මහණ වෙච්ච කෙනෙක්. ඒ නිසා පංසල් ජීවිතේ මට ඕන නෑ කියල රට පුරාම තැනින් තැන පිණ්ඩපාතෙ යමින් ඇවිදිනව. රාත්රියට අහුවෙච්ච පංසලක නවතිනවා. කොයි පන්සලේ හිටියත් බුදුන් වඳිනව. වත පිරිත කියනව. භාවතාවත් කරනවා. ඒවායේ අඩුවක් කරන්නේ නෑ. හැමදාම උදේ දවල් දෙකටම පිණ්ඩපාතෙ යනවා. පයින්මයි ඇවිදින්නෙ. වාහනවල යන්නෙම නෑ. ඔහොම තමයි මේ හාමුදුරුවො අපවත් වෙන තුරුම හිටියෙ. මට හම්බවෙනකොට ඒ හාමුදුරුවන්ට වයස අවුරුදු 80 ක් විතර ඇති. මේ හාමුදුරුවො ලංකාවෙ නොගිය පළාතක් නෑ. කොහේ ගියත් සතියකට වඩා එක තැන ඉන්නෙ නෑ මේ හාමුදුරුවො.
බලංගොඩ අපේ සාංඝික පංසලටත් දෙතුන්වතාවක් වැඩියා. ඒ ආවහමත් අර පිළිවෙලමයි. එක දවසක් එනකොට අවිස්සාවේල්ලෙ පුවක්වත්තේ පංසලේ හාමුදුරුවොත් හිටිය. අපි ඉතිං දාතෙ වළඳල ටික වෙලාවක් ආ ගිය තොරතුරු කතා කර ඉත්ත ගමන් අර පුවක්වත්තෙ හාමුදුරුවො ඇහුව ඔබ වහන්සෙ රට තොට ඇවිදින කොට මුහුණ දුන් විශේෂ අත්දැකුම් මොකවත් තියෙනවද ? කියල. එදා අපට උන්වහන්සේගේ ජීවිතයේ විශේෂ අත්දැකුම් දෙකක් කිව්ව.
එක වතාවක් මේ හාමුදුරුවො හලාවතින් එහා කල්පිටියේ බුත්පිටිය කියන පැත්තෙ යන්න ඕන කියල ගියාලු. බොහෝම ඉස්සරත් මේ හාමුදුරුවෝ මේ පළාතේ ගිහිං හොඳට පුරුදු කෙනෙක්. පයිං යනකොට දවසක් හොඳටම රැ වුනාලු. ටිකක් ටිකක් එහාට යනකොට කඩ වීදියක් හම්බ වුනාලු. බොහොම හොඳ කඩ වීදියක්. ඉතිං එහාට එහාට ගියාලු. කොච්චර එයාට ගියත් කඩ වීදිය තියෙනවා. එහා මෙහා යනවලු. පහන් පත්තුවෙනවලු. මිනිස්සු විදියේ පංසලක් එහෙමතියෙනවද කියල බල බලා ගියාලු. ඔහොම ටික දුරක් යනකොට වැඩිය මිනිස්සු නොගැවසෙන ඩිංගක් උස් ඉඩමක පාර අද්දර කෝපි කඩයක් දැක්කලු. මේ හාමුදුරුවො ඒ කඩේට ගියා. ගිහිල්ල බැලු කොට ලෑල්ලක් තිබුතලු ඒකෙ ඉඳ ගත්තලු. ඒ කඩේ වයසක ජෝඩුවක්හු හිටියේ. තව ගෑණු ළමයෙක් ගේ ඇතුලේ පිටි කෙටුවලු. ඉතිං මේ හාමුදුරුවෝ ගිහිල්ල ඉඳ ගත්තහම අර වයසක මුදලාලි ඇවිත් හාමුදුරුවනේ, බැහැරක් වඩින ගමන්ද කියල අහල කෝපි ටිකක් වළඳන්න කියල කෝපිත් ගෙනැත් දුන්නලු. ඉතිං සල්ලි දුත්තම සල්ලි ගත්තෙ නැතිලු. අපි හාමුදුරුවන්ගෙන් සල්ලි ගන්නෙ නෑ. හොඳ නෑනෙ ස්වාමීන් වහන්සේලාගෙන් සල්ලි ගන්න කියලත් කිව්වලු.
පස්සෙ ඉතිං රෑ බෝවෙච්ච නිසා මේ හාමුදුරුවො කල්පනා කළාලු පංසලක් ලඟ පාතක නැති නිසා මේ කඩේ ලෑල්ල උඩ නිදාගත්ත ඇත්තම් හොඳයි කියල. එහෙම හිතල ඇහුවලු උපාසක උන්නැහෙ, දැන් මට යන්න තැනකුත් නෑ. රෑ වුනත් වැඩියි. කරදරයක් නැත්නම් මං මේ ලෑල්ල උඩ ටිකක් නිදා ගත්තද කියල. මුදලාලි කියනවා අනේ, හාමුදුරුවෝ ඔබ වහන්සේ කැමති නම් අපෙන් කරදරයක් නෑ සැතපෙන්න කියල. ඉතිං මේ හාමුදුරුවො අර පාත්තරෙයි ඔලොගුවයි අරං තියන්න කියල මුදලාලිට දිල එළියෙ අර ලෑල්ල උඩ සිවුරත් දාගෙන නිදා ගත්තලු.
උදේ මේ හාමුදුරුවන්ට ඇහැරුනේ බඩවිටි හරියක් තියෙන ගහක් මුල. නැගිටල බැලු කොට පාත්තරෙත් නෑ. ඔලෝගුවත් නෑ. ඒව බාරගත්තු මුදලාලිත් නෑ. කෝපි කඩෙත් නැතිලු. මේ හාමුදුරුවන්ට හරි පුදුමයිලු. පස්සෙදි ඒ හාමුදුරුවන්ට හිතුනලු තමන්ගෙ ලෝගුවෙ තියෙන ඒව අරගත්ත කියල අර මිනිස්සු නිර්දෙදි මාව මේ කැලේට ගෙනත් දැම්ම වෙත්ත ඇති කියල. එහෙම හිතල මේ හාමුදුරුවො අර කඩ මණ්ඩිය හොයන්න ඔහේ ඇවිද ඇවිද ගියාලු. අන්තිමේදි බුත්පිටියට ගිහිල්ල අර මිනිස්සුන්ගෙන් ඇහුවලු මේ කඩ මණ්ඩිය ගැන. උන් හිනැහුලාලු. හිනැහිලා හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඊයේ?කුවේණි දිෂ්ටියට අහුවෙලා. ඒකයි වෙලා තියෙන්නෙ කියල කිව්වලු. ඒ මොකක්ද කියල ඇහුවම උන් කියල තියෙනවා අදත් රෑ වෙත කොට ඒක තියෙනවා අපි ඔබ වහන්සේට පෙන්නන්නම් කියල. ඉතිං හොඳයි කියල මේ හාමුදුරුවෝ දවල් ඒ මිනිසුන්ගෙන් දානෙත් අරගෙන ටිකක් හවස් වෙන තුරු ඇවිද ඇවිද හිටියලු. හැන්දෑවෙ අඳුර වැටී ගෙන එනකොටම අර මිනිස්සු මේ හාමුදුරුවත් අඩගහ ගෙන ගියාලු. අර කුවේණි දිෂ්ටිය තියෙන මායිමට ගිහිල්ල අර මිනිස්සු නැවතුනාලු. මේ හාමුදුරුවො ටිකක් ඉස්සරහට යනකොට අර කඩවීදිය ඒ වගේම තියෙනවලු. අර කෝපි කඩෙත් තියෙනවා. කඩේට. අර වයසක ජෝඩුවත් ඉන්නවා. අර පාත්තරෙයි ලෝගුවයි ඉල්ලුවලු. ආ.. ගියාලු ඉතිං හාමුදුරුවො මෙන්න කියල අර වයසක උන්දැ ඒකත් ගෙනත් දුන්නලු. ගිලන්පසට කෝපිත් ගෙනත් දුන්නලු. වෙන්නෙ මොකක් ද කියල බලන්න හිතාගෙන මේ හාමුදුරුවෝ එදා එළිවෙනතුරුම අර ලෑලේල්ලෙ හාන්සිවෙලා බලාගෙන හිටියලු. මේ මෙහෙම වෙන්නෙ කොහොමද බලන්න. නමුත් රෑ 12 පහුවෙනකොට කොච්චර වෑයම් කළත් ඇහැ ඇර ගෙන ඉන්න කොහොමටවත් බැරි වුනාලු. නිදිමත උහුලත්ත බැරි උනාලු. ඒ හාමුදුරුවෝ දන්නේම නැතිව නින්ද ගිහිං. උදේ බලන කොට කැලේ ගහක් මුල. පාත්තරෙයි ලෝගුවයි ඔක්කොම තියෙනවා. ඉතිං ඒවත් අරගෙන මේ හාමුදුරුවො එත්ත ආවලු. මේ කුවේණි දිෂ්ඨිය දැකපු අය අදත් ඒ පළාතේ ඉන්නවා