
වසර හතකට පමණ වතාවක් ඵල හට ගන්නා රසවත් මෙන්ම ඉතා ගුණදායක බෙරලිය සමය ගැමියන් අතර ඉතා ජනප්‍රිය කාලසීමාවකි , එය එලඹෙන තුරු ඔවුන් පුන පුනා බලා සිටින්නේ මහත් ආසාවෙනි, හිමිදිරියේ හිරු උදාවටත් මත්තෙන් ගැහැනු පිරිමි භේදයකින් තොරව බෙරලිය ඇහිඳීමට කැලෑවට යනු දැකීම සුලබ දසුනකි. කැලෑවේ බෙරලිය ගස් ඇති ඉසව් මතකයේ තබාගෙන ඒවා අසලට ගොස් , තරඟයට මෙන් ඒවා ඇහිඳින්නේ සතුන්ගෙන් (කුණකටුවන්, කූඩැල්ලන් වැනි) පවා සිදුවිය හැකි අකරතැබ්බයන් ගැන තුට්ටුවකට මායිම් නොකරමින්ය.
කොටිකන් බෙරලිය
පිණි බෙරලිය
ආදී වශයෙන් බෙරලිය වර්ග කීපයක් දක්නට ලැබෙන අතර සාපේක්ෂව බීජය විශාල කොටිකන් බෙරලිය එකතු කිරීම ට ගැමියන් වැඩි රුචිකත්වයක් දක්වන්නේ ආහාර පිණිස සකසා ගැනීමේ ඇති පහසුව නිසාය. බීජය ප්‍රමාණයෙන් කුඩා වුවද පිණි බෙරලිය වැඩි රසයකින් යුක්ත බව සමහරු මත දරති. හිමිදිරි උදෑසනින් කැලය ට පිවිසෙන ගැමියන් ඇතැම් විට එලියට පැමිණෙනුයේ වවුලන් සිය රාජකාරි අරඹන ගොම්මන් යාමයේ ය. රැගෙන එන බෙරලිය, පවුලේ පිරිස් වටවී බීජ වෙන් කිරීම බොහෝ නිවෙස් වල රාත්‍රියාමයේ දී සිදුවන ක්‍රියාවකි. ඒ අතරතුර දිවා කාලයේ බෙරලිය ඇහිඳීමේ තරඟයේ දී අත්විඳි අත්දැකීම් පවුලේ අය ඉදිරියේ මහත් උජාරුවෙන් කියවීම ඔවුන් ගේ පාලුව කාන්සිය දුරු කරවනු ඇතැයි ඔවුන් විශ්වාස කරති. බීජ වෙන් කරන බෙරලිය වලින් කොටසක් වේලා කල් තබා ගැනීමට ගම්මුන් ක්‍රියා කරන අතර තවත් කොටසක් රසවත් වෑංජනයක් සකසා ගැනීම පිණිස භාවිතා කරයි.
බොහෝ වෙහෙස මහන්සි වී සකසා ගන්නා බෙරලිය වෑංජන වලින් කොටසක් නිර්ලෝභී ව අසල්වැසියන් වෙත ලබා දීමට තරම් ගම්වැසියන් මානුෂීය ගුණාංග ප්‍රගුණ කර ඇත. වියලා කල් තබා ගන්නා බෙරලිය භාවිතා කර අවාරෙයේ දී රසවත් මෙන්ම ඉතා ගුණදායක ආහාර වර්ග පිළියෙල කර ගැනීම ද සිදු කරනු ලබයි. හාල් පිටි සමග කිතුල් පැණි මුසු කොට සකසන එවැනි ආහාර වල රසයට සමකලහැකි අන් කිසිවක් නොමැති තරම් ය.
බෙරලිය හැලප
බෙරලිය වැලිතලප
බෙරලිය අලුවා
බෙරලිය පිට්ටු
වැනි ආහාර වර්ග ඒ සඳහා උදාහරණ කීපයකි.
බදාගෙන කන්න හිතෙන බෙදාගෙන කන්න ලෝබ හිතෙන බෙරලිය සමයක් නැවත උදාවනුයේ වසර 2030 පසුවීය, ඒ වන විට අප ජීවිතයේ ද සෑහෙන වෙනස්කම් සිදුවී තිබෙනු නොඅනුමානය.





