Saturday, April 26, 2025

මගේ අතින් නැතිවෙන්න ගියේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝව, ඒ තමයි මගේ බාල පුතා

Published:

රොනාල්ඩෝ කියලා කියන්නේ එක් අවස්ථාවක මුළු ලෝකයටම අහිමිවෙන්න ගිය පුද්ගලයෙක්ලු. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මව ‘මරියා ඩොලොරස්’ තමයි එහෙම කියන්නේ. ඇය කියන ඒ කතාව තමයි මේ.

———-
අගහිගකම් ඉහවහා ගියපු පවුලක බාලයා ලෙස තවත් දරුවෙකු කුසට ආ වග දැනගත් මොහොතේ පටන් මරියා ඩොලොරස්ගේ හිතේ තිබුණේ නොරිස්සුමකි. ඒ, ඒ වනවිටත් දරුවන් තුන්දෙනෙකු සිටි පවුලට සිව්වැන්නෙකුගේ ආගමනය අනවශ්‍ය බව තදින්ම දැනුණු නිසාය. කලින් කී පවුලේ අගහිගකම් නිසාත් සැමියාගේ අධික බීමත්කම නිසාත් ඇයට දරුවාව හදාවඩා ගන්නට පුළුවන්කමක් තිබුණේ නැත. එනිසා ඇය නූපන් දරුවා කිසිදා නූපදින දරුවෙකු බවට පත්කරන්නට සිතා පසුදාම රෝහලට ගියාය. ඒ දරුගැබ නැතිකර දැමීමේ අදහසිනි.

“ඩොක්ටර්, මට දරුවෙක් ලැබෙන්න ඇවිත්. ඒත් අපේ පවුලට තව දරුවෙක් එපා. මට ඒක ලොකු බරක්. මං ආවේ දරුගැබ ගබ්සා කරගන්න.”

මවක් එසේ කී සැනින් දරුගැබක් වනසා දමන්නට වෛද්‍යවරයෙක් කිසිදා යුහුසුළු වන්නේ නැත. එනිසා මරියා කී කතාවට ඇය ඉදිරිපිට උන් වෛද්‍යවරයා කලබල වුණේ නැත. ඔහු කරුණාවෙන් මරියා දෙස බලා පැවසුවේ මෙවැන්නකි.

“අම්මා, මේ අහන්න. ඔය වැඩේ කරන්න එපා. අම්මා ඔය දරුවා හදන්න.”

වෛද්‍යවරයාගේ වචනවල ගැබ්ව තිබූ කාරුණික බවටදෝ මරියාගේ හිත ක්ෂණයකින් වෙනස් විය. එනිසා දරුගැබ ගබ්සා නොකර මරියා ආපසු හරවා එවීමට වෛද්‍යවරයාට අමතර වෙහෙසක් ගන්නට සිදුවුණේ ද නැත. හිත වෙනස් කරගත් ඇය රෝහලෙන් ආපසු පැමිණියාය.

ඒ 1985 පෙබරවාරි 05 වැනිදාය. එදා මරියා ගබ්සා කරන්නට තැත්කළ දරුවා මෙලොව එළිය දුටු දිනයයි. පුංචි එකාගේ මුහුණ දුටු මරියා වරු ගාණක් එකදිගට හැඬුවාය. ඒ තමන් වරක් ගබ්සා කිරීමට ගියේ මේ පුංචි එකා නේදැයි යන දැඩි පසුතැවීමෙනි. කෙසේ හෝ එතැන් පටන් තියෙන විදියකට කා බී දරුවා උස්මහත් කරන්නට මරියා සිතාගත්තාය.

මේ පුංචි පවුලට ඔවුන්ගේම කියා නිවසක් තිබුණේ නැත. ඔවුන් ජීවත්වූයේ පෘතුගාල පල්ලියක අඩු ආදායම්ලාභීන් සඳහා වෙන්ව තිබූ තැනකය. හයක් උන් පවුලට එතැන මහා ඉඩකඩක් වෙන්ව තිබුණේ නැත. තිබුණේ යාන්තමට ඉන්නට පුංචි කාමර කෑල්ලක් පමණි. වාසනාවට මෙන් කෑමබීම ටික පල්ලියෙන් ලැබුණි.

“මම පුතාව පාපන්දු ගහන්න යවනවා.”

ඒ සිතුවිල්ල පැමිණියේ මරියාගේ සැමියාටය. බේබදුකමින් ඉහවහා ගියද මොකක්දෝ හේතුවකට ඔහුට බාලයා ගැන සෙනෙහසක් ඉපදී තිබුණි. නගරසභා උද්‍යාන අලංකරණය කරන්නෙකු මෙන්ම පාපන්දු පිටියක සේවකයෙකු වූ ඔහු අවසානයේ බාලයා පාපන්දු පුහුණු වෙන්නට යැව්වේය. ඒ වනවිට කොලුගැටයාට යාන්තමට වයස අවුරුදු 10ක් පිරුණා පමණි. ඔහු කෙතරම් පාපන්දුවට ඇලුම් කළාද කිව්වොත් පාසල් පන්ති කාමරයේ සිටිනවාට වඩා වැඩි කාලයක් සිටියේ ක්‍රීඩා පිටියේය. එහෙත් හිටිගමන් කොලුගැටයා අසනීප තත්ත්වයට පත්විය.

“මේ දරුවට හදවත් සැත්කමක් කරන්න වෙනවා. ඒක ඉක්මණින්ම නොකළොත් ජීවිතේට වුණත් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න බැරි නෑ.”

ඒ පාපන්දුවට ඇලුම් කළ පවුලේ බාල දරුවා රෝහලට ගෙන ගිය පසු ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා මරියාට කී කතාවයි. ඇයට තවත් කල් අරින්නට හේතුවක් නොතිබුණාය. ඒ මොහොතේම ඇය සැත්කම කරන්නට එකඟ විය. ඒ අනුව පැය කිහිපයක් පුරාවටම දරුවාට සැත්කම සිදුකෙරිනි. වාසනාවට මෙන් ඒ සැත්කම සාර්ථක විය. කොලුගැටයා යළි පාපන්දු ගැසීම ඇරඹුවේය.

“පුතා පාපන්දුව අත්හැරියේම නෑ. කොයිතරම් දුෂ්කරතා තිබුණත් එයා පාපන්දු ගැහුවා. දවසින් දවස පාපන්දු ක්‍රීඩාවෙන් ඉස්සරහටම ආවා.”

අවසන ඔහු නැවතුනේ තමන්ගේ රට වන පෘතුගාලයේ ජාතික පාපන්දු කණ්ඩායම ද නියෝජනය කරමිනි. තවත් වසර කීපයක් ගිය තැන කණ්ඩායමේ නායකත්වයද ඔහුට පැවරුනි. මේ අතර ඉහළ ලංසුවලට ඔහු ලෝකයේ ප්‍රබලම ක්‍රීඩා සමාජ වෙනුවෙන් මිලට ගත්තේය.
මට හිතාගන්න බෑ මේ මගේ දරුවමද කියලත්. ඔහු අද ඒ තරම් විශිෂ්ටයෙක්

සිය බාල දරුවා ගැන කාටත් වඩා මරියා ආඩම්බර වන්නීය. ඒ ආඩම්බරය ඇගේ වචනවලින්ම මෙසේය.

අද මං තරම් සතුටුවෙන අම්මෙක් නෑ මං හිතන්නේ. එදා මට ලැබෙන්න හිටපු දරුවව මං ගබ්සා කළා නම් ලෝකයට දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් අහිමිවෙන්න තිබුණා. ඒ හින්දා මොකක් හරි හේතුවක් උඩ කුසට ආපු දරුවෙක්ව ගබ්සා කරන්න හිතෙනවා නම් තවත් කීපසැරයක්ම ඒක ගැන හිතන්න. මොකද දන්නවද? මගේ අතින් නැතිවෙන්න ගියේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝව. ඒ තමයි මගේ බාල පුතා

spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Gossip

spot_img