
සුදත් රැකියාව කලේ මල් ශාලාවක රියදුරකු ලෙසය.ඕනෑම මොහොතක මිනියද රැගෙන සුදත් වෑන් රථයෙන් පිටත්ව යන්නේ තනිවමය.බොහෝ දිනයන් වලදී මෙම කටයුත්ත ඔහුට පැවරෙන්නේ රාත්‍රි කාලයේදී ය.එහෙත් ඔහු කිසිදු පැකිලීමකින් තොරව එයට ඉදිරිපත් වන්නේ දැඩි සිතක් ඇත්තෙකු ලෙසිනි.
මෙදින ද රාත්‍රියේ මල් ශාලාව වෙත මිනියක් රැගෙන විත් තිබුණේය.ඔහු රිය අනතුරුකට ලක්ව මියගොස් සිටි තරුණයෙකි.මිනිය එම්බාම් කරන තුරු සුදත් මල් ශාලාවේ අසුනක් මත හිඳ මත් පැන් ස්වල්පයක් පානය කළේය.ගමන පිටත් වීමට පෙර මෙසේ මත් පැන් පානය කිරීම සුදත්ගේ ද සිරිතකි.
මේ වනවිට වේලාව රාත්‍රි දහයට ද ආසන්න වෙමින් තිබිණි.මිනිය එම්බාම් කර අවසන් වූ පසු මිනී පෙට්ටිය ඔසවා වෑන් රථයට ඇතුළු කරන ලද්දේ මල් ශාලාවේ සේවකයන් කිහිප දෙනෙකු විසිනි.අනෙක් ආම්පන්න ද වෑන් රියට දැමූ පසු ගමන පිටත් වීම සඳහා සුදත් අසුනින් නැගී සිටියේය.
“සුදත්…මිනිය අරන් යන්න තියෙන්නේ දෙල්තොට ගමට…දෙල්තොට පාලම පහු කරපු ගමන් හම්බ වෙන දෙවනි ගෙදරට තමයි මිනිය අරන් යන්න තියෙන්නේ…”
මල් ශාලාවේ අයිතිකරු වූ මාරසිංහ කීවේය.
“හොඳමයි මහත්තයා…”
එසේ කියූ සුදත් වෑන් රථයට ගොඩ වී එය පණ ගන්වා දෙල්තොට ගම්මානය බලා පිටත්ව ගියේය.
ප්‍රධාන මාවතෙන් දෙල්තොට ගම්මානයට රථය හරවන විට වේලාව රාත්‍රි එකොළහයි තිහ පමණ වී තිබිණි.සුදු කොඩියක් ඉහළ එල්ලෙමින් තිබෙණු වෑන් රථයේ ආලෝකයෙන් සුදත් දුටුවේය.අඳුරු,පටු,අබලන් මාවතක් වූ එහි රථය ඉතා සෙමින් ධාවනය කිරීමට සුදත්ට සිදු විය.
නොරිස්සුම් සහගත සිතින් යුතුව ඔහු රථය ඉදිරියට රැගෙන ගියේය.අමාවක රැයක් වූ මෙදින මුළු පරිසරයම අඳුරු ගුප්ත ස්වභාවයක් ගෙන තිබිණි.මාවත දෙපස ද එතරම් නිවාස පිහිටා නොතිබූ අතර දැවැන්ත වෘක්ෂලතාවන් මාවත දෙපස සුලබ විය.
මෙසේ ගමන් ගත් රථය එක්වරම දරුණු ගැස්සීමකට ලක් වූයේ එය මාවතේ දකුණු දෙසට හැරෙමිනි.ක්ෂණිකව තිරිංග පැඬලය පෑගූ සුදත් රථයට කිසිදු හානියක් නොවන අයුරින් නවතා ගැනීමට සමත් විය.
විදුලි පන්දම දල්වා ගත් සුදත් වෑන් රථයෙන් බැස ගත්තේ සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීමටය.ඔහු විදුලි පන්දම රථයට එල්ල කරමින් පරීක්ෂා කරන්නට විය.එවිට ඔහුට දැක ගන්නට හැකි වූයේ පිටුපස එක් ටයරයක හුලං නොමැති බකි.
“ෂිට්…කරුම වෙලාව…”
සුදත් කීවේ ටයරයට පා පහරක් එල්ල කරමිනි.
ඔහු සිය අත් ඔරලෝසුවෙන් වේලාව පිරික්සුවේය.වේලාව මධ්‍යම රාත්‍රි දොළහ වී තිබිණි.ඉක්මනින් ටයරය මාරු කර ගත යුතු බැව් සුදත් වටහා ගත්තේය.
ඔහු අවට විපරම් කර බැලුවේ උපකාරයක් පැතිය හැකි අයෙක් සොයා ගැනීමටය.එහෙත් එම ඉසව්ව තුල එකදු නිවසක් හෝ පෙනෙන්නට නොතිබිණි.
සුදත් මෙසේ සිටින අතර වාරයේ මාවත දෙසින් අවතාරයක් මෙන් යමෙක් වෑන් රථය අසලට ඇදී ආවේය.පැවති අඳුර හේතුවෙන් එම පුද්ගලයා සුදත් අසලට පැමිණෙන තුරුම සුදත් ඔහුව නොදුටුවේය.
“මොකද අයියේ වෙලා තියෙන්නේ..?”
පැමිණි තැනැත්තා එසේ අසද්දී සුදත් තිගැස්සී ගියේය.ඔහු විදුලි පන්දම ආගන්තුකයා වෙත එල්ල කළේය.පැමිණ සිටියේ තරුණයෙකි.තරමක් උස් වූ ඔහු සිහින්දෑරි අයෙක් විය.
“බලන්න මල්ලි හර්ස් එකේ ටයර් එකක් ගිහින්…මේක ඉක්මනින් දා ගන්න ඕන…”
සුදත් කීවේ ආගන්තුක තරුණයා දෙස විමසුම් බැලුම් හෙලමිනි.
“ආ ඉන්න මං උදව් කරන්නම්…”
තරුණයා කීවේය.
“හොඳයි මල්ලි ඉන්න මං ජැක් එක ගන්න කල්…”
***
අඩ හෝරාවකට පමණ පසු ටයරය මාරු කිරීමට ඔවුන් දෙදෙනා හට හැකි විය.
“අනේ බොහෝම ස්තුතියි මල්ලි…මං දැනටමත් පරක්කුයි.මළගෙදර මිනිස්සු මරණේ ගේනකල් බලන් ඇති…ඔයත් යන්නේ ඒ පැත්තට නම් මාත් එක්ක යන්න පුළුවන්…”
සුදත් කීවේය.
“නෑ අයියේ මං මෙතනින් එහා කනත්ත පාරේ යන්නේ…”
“මළගෙදරට තව කොච්චර දුරද..?”
“තව කිලෝමීටර් එකහමාරක් විතර යන්න තියෙනවා…දෙල්තොට පාලම පහු කරපු ගමන් හම්බ වෙන දෙවනි ගෙදර…”
එසේ කියූ තරුණයා අඳුරේම පිටත්ව ගියේය.
ඔහු ආලෝකයක් හෝ නොමැතිව මෙසේ අඳුරේ ගමන් කරන්නේ කෙසේද යන්න සුදත් සිතන්නට විය.සුදත් තරුණයා ගමන් කල දෙසට විදුලි පන්දම එල්ල කළේය.
පුදුමයකි..! ඔහු පෙනෙන්නට නොවීය.මෙතරම් ඉක්මනින් ඔහු නොපෙනී ගියේ කෙසේද..?
නුහුරු බියක් සුදත්ගේ සිතට ගලා ආවේ නිරායාසයෙනි.මේ වනවිට ඔහුගේ වෙරි සිඳී ගොස් තිබිණි.ඔහුගේ දෑස් දිව ගියේ වෑන් රථයේ පිටුපස වූ මිනී පෙට්ටිය වෙතය.
එදෙස බැලු ඔහු දිගු සුසුමකින් ලය සැහැල්ලු කරගැනීමට උත්සාහ කළේය.
මොහොතක් එලෙසම සිටි සුදත් අවසානයේ වෑන් රථයට ගොඩ විය.රථය පණ ගන්වා ගත් ඔහු මාවතේ ඉදිරියට ගමන් කළේය.
දෙල්තොට පාලම පසු කෙරූ ඔහු වෑන් රථය මරණය සිදු වූ නිවසේ ගෙමිදුලට රැගෙන ගියේය.ඔහු එහි ලඟා වනවිට වේලාව අලුයම එකද පසු වී තිබුණේය.
“මොකද මල්ලි මෙච්චර පරක්කු වුණේ..?”
සුදත් රථයෙන් බසිත්ම මැදි වියේ පසු වූ පුද්ගලයෙක් ඇසුවේය.
“මඟදී හර්ස් එකේ ටයර් එකක් ගියා.ඒක දා ගෙනයි මේ ආවේ…”
සුදත් කීවේ රථයේ පිටුපසට ගමන් කරමිනි.
රැස්ව සිටි පිරිස මරණය නිවසට රැගෙන යෑමට කටයුතු කළේය.නිවසේ සාලයට මරණය ඇතුළු කල මොහොතේ ඥාතීහූ වැලපෙන්නට වූයේ මුළු නිවසම දෙවනත් කරමිනි.
මිනී පෙට්ටිය තැන්පත් කෙරූ පසු සියලු දෙනාගේ සෝ සුසුම් මධ්‍යයේ එහි පියන් පත සුදත් විවර කළේය.
දුටු දසුනින් සුදත්ගේ සිරුරේ ලොමු ඩැහැ ගැන් විණි.ඔහුට ඇති වූ භීතිය වචනයෙන් පවා විස්තර කල නොහැකි විය.මිනී පෙට්ටිය මත වැතිරී සිටින්නේ මීට සුළු මොහොතකට පෙර තමාගේ උපකාරයට පැමිණි තරුණයා නොවේද..?
ටයරය මාරු කර ඔහු අඳුරේම පිටත්ව ගිය බැව් සුදත් මෙනෙහි කළේය.ඔහුට ගමන් කිරීමට ආලෝකය පවා අවශ්‍ය නොවීය.
දෙවියනේ..! එසේ නම් මේ මියගිය තරුණයාම තමාට උපකාර කිරීමට පැමිණ ඇත.මෙය ඇදහිය හැකිද..?සුදත් කිසි දිනෙක මෙවැනි අත්දැකීමකට මුහුණ පා නොතිබිණි.එබැවින් ඔහුගේ සිත භීතියෙන් වෙලී ගොස් තිබුණේය.ඔහු නැවතත් මිනී පෙට්ටිය මත වැතිරී සිටින තරුණයා දෙස බැලුවේ සැලෙන හදින් යුතුවය.
තරුණයා ඉතා ශාන්ත අයුරින් එහි වැතිරී සිටියේය.තවත් එදෙස බලා සිටීමට තරම් සුදත්ගේ සිත එඩිතර නොවිය.
මේ මොහොතේ නිවසින් පිටත්ව යෑමට ද ඔහුගේ සිතේ ශක්තියක් නොතිබුණේය.එළි වනතුරුම මෙහිම සිටිය යුතු යැයි ඔහු සිතුවේය.මෙසේ සිතමින් සුදත් නිවසින් පිටතට පිවිසියේ සිහි විකල් වූ වෙකු විලසිනි.
සමාප්තයි.
සැළකිය යුතුයි :- මෙම සිදුවීම හා මෙහි එන නම්,ගම් සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
කතාව කියවා රසවිඳි ඔබ සැමට ස්තුතියි.
කර්තෘ :- රුවන් චින්තක