පලනිසාමි රාකියා ගවුන්ඩර්…..
අහලා නුපුරුදු නමක්. ඔව්, සිනමාවේ ඔහුව හඳුන්වන්නේ ශිවකුමාර් නමින්. වර්ථමානයේ අපි දන්නේ සූර්‍යාගේ සහ කාර්තික්ගේ තාත්තා කිව්වාමයි.
1941 දී තමිල්නාඩුවේ කොයිම්බතූර්වල ඉපදෙන පලනිසාමි, 1965 දී තිරගත වෙච්ච කාකුම් කරංගල් නම් දෙමළ චිත්‍රපටයෙන් තමයි ශිවකුමාර් නමින් මුලින්ම සිනමාවට එන්නේ.
දමිළ සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනන නලුවෙක් වුණු ඔහු 1965 සිට 2005 වසර වෙනකම් චිත්‍රපට 190කට පමණ දායක වෙලා තියෙනවා. ශිවකුමාර්ගේ කැපී පෙනෙන චිත්‍රපට අතරට සරස්වතී සබතම් (1966), කන්දන් කරුණාවයි (1967), තිරුමාල් පෙරුමෙයි (1968), උයර්න්ද මනිදන් (1968), අන්නකිලි (1976), රෝසප්පු රවිකයිකරි (1979) සහ ඉතා ප්‍රසිද්ධ කේ. බාලචන්දර්ගේ (1985) සින්ධු භහිරවි ඇතුළත් වෙනවා. සිංදු භහිරවී චිත්‍රපටය කිහිප වතාවක්ම eye නාලිකාවෙත් විකාශය වුණා. ඔහුගේ මම නැරඹු මුල්ම චිත්‍රපටයත් එයයි.



මෙතුමා සිය වෘත්තීය ජීවිතය තුළ හොඳම නලුවාට හිමි Filmfare award south තුන්වරක් ලබාගත් අතර දෙවතාවක් Thamilnadu State Film Awards ද ලබාගත්තා. 2007 දී ඔහු Filmfare Lifetime Achievement සම්මානයෙන් ද පිදුම් ලබා තියෙනවා.
හින්දු භක්තිකයෙක් වන ශිවකුමාර් 1974 දී ලක්ෂ්මි කුමාරි නම් කාන්තාව සමඟ විවාහ වන අතර ඔවුන් දෙදෙනා දරුවන් තිදෙනෙකුට මව්පියන් වෙනවා. පුතුන් දෙදෙනා අපි කවුරුත් හඳුනන කොලිවුඩ් සුපිරි නලු සූර්යා හා කාර්ති වන අතර දමිල සිනමා පසුබිම් ගායිකාවක් වන බ්‍රින්දා ඔහුගේ දියණියයි. ඔහුගේ වැඩිමහල් ලේලිය, අප හොඳින් දන්නා ජෝතිකා ද සුප්‍රසිද්ධ කොලිවුඩ් නිළියක්.
සිනමාවට අමතරව, ප්‍රසිද්ධ ටෙලි නාට්‍යක් වූ චිත්ති සහ අන්නමලෙයි ටෙලිනාට්‍යයේත් ඔහු රාධිකා සරත්කුමාර් නම් ප්‍රවීණ නිලිය සමඟ තිර අවකාශය බෙදා ගත්තා. කුඩා කල අප ආසාවෙන් නැරඹූ චිත්ති නාට්‍යය ඔබට මතක ඇති.
රඟපෑමට අමතරව මෙතුමා හින්දු දේවධර්මය ඇතුළු විවිධ විෂයයන් පිළිබඳව ප්‍රසිද්ධ දේශන සිදු කරන අතර ඒවා බොහො දෙනාගේ පැසසුමට ලක්වී තිබෙනවා.
ශිවකුමාර් ඔහුගේ තරුණ කාලයේ එම්.ජී. රාමචන්ද්‍රන්, සිවාජි ගනේෂන්, ජෙමිනි ගනේෂන්, එස්.එස්. රාජේන්ද්‍රන්, ආර්. මුතුරාමන් වැනි ඒ කාලයේ සුප්‍රසිද්ධ නලුවන් සමඟ සිනමාවේ දක්ෂතා පෙන්වූ විශිෂ්ට නලුවෙක්.