අගෝස්තු මස 3 වෙනිදා කැනඩාවේ රැකියාවකට යාම සදහා බැංකුවෙන් රුපියල් ලක්ෂ 20ක් රැගෙන ආ තරුණයෙකුගේ මළ සිරුර මුලතිව් වවුනිකුලම් වැවේ තිබියදි පොලීසිය ඊයේ (30) සොයා ගෙන තිබෙනවා.
මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේදී 27 හැවිරිදි ආනන්දරාසා සජීවන් නැමති මෙම තරුණයාගේ මරණය අබිරහසක් වී ඇති අතර, ඔහු මියයාමට පෙර මිතුරන් වෙත ගන්නට ඇතැයි සැකකෙරෙන දුරකතන පණිවුඩ ගණනාවක්ම පොලිස් පරීක්ෂණ වලදී සොයා ගැනීමට හැකි වී ඇති බව පොලිසිය පවසනවා.
වවුනිකුලම් වැව අසලින් ගිය පිරිසක් වැව් කණ්ඩිය අසල යතුරු පැදියක්, සරමක් හා පාවහන් යුගලක් දැක ඇති අතර, වැව අසල කිසිවෙක් දැක ගන්නට නොමැති නිසා ඇති වූ සැකයක් මත ඒ බව පාණ්ඩියන්කුලම් පොලීසියට දැනුම් දී තිබෙනවා.
පොලිසිය පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව වැව නිරීක්ෂණය කිරීමේදීයි තරුණයාගේ මළ සිරුර හමු වී ඇත්තේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ස්ථානීය මරණ පරීක්ෂණය පවත්වා මියගිය තරුණයාගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු බැංකුවෙන් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ 20ක මුදලද අතුරුදහන් වී ඇති නිසා එම සැකය තවත් වැඩි බවයි පවුලේ ඥාතීන් මේ අවස්ථාවේදී පවසා ඇත්තේ.
පසුව මහේස්ත්‍රාත්වරයා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමු කර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කර තිබෙනවා.
පාණ්ඩියන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.